අවුරුදු 10ක සිසුවියක් අපයෝජනය කළ ගුරුවරයෙකුට වසර 14ක නඩුවකින් පසු ලැබුණු තීන්දුව

 



වයස අවුරුදු 10 ක පාසල් දැරියක්‌ පාසලේ පන්ති කාමරයක්‌ තුළදී අපයෝජනය කළ ගුරුවරයකු වැරදිකරු බවට තීන්දු කළ රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඔහුට බරපතළ වැඩ සහිත වසර 18 ක සිර දඬුවමක්‌, රුපියල් 25,000 ක දඩයක්‌ සහ වින්දිත දැරියට ලක්‍ෂ 5 ක වන්දියක්‌ ද ගෙවන ලෙසට 25 දා නියෝග කර සිටියා.

එසේ දඬුවම් නියම වූයේ බලන්ගොඩ පදිංචි හේරත් මුදියන්සේලාගේ සෝමවර්ධන නොහොත් අනුර නමැති බලන්ගොඩ පදිංචිකරුවකුටය.

2006 අගෝස්‌තු මස 9 වැනි දින සහ සැප්තැම්බර් මස 15 වැනි දින අතර කාලයේදී ඕපනායකදී වයස අවුරුදු 10 ක දැරියකට ස්‌ත්‍රී දූෂණයක්‌ සිදු කළේ යෑයි විත්තිකරුට රත්නපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලැබ සිටියා.

විත්තිකරු චෝදනාවට නිවැරැදිකරු බව පවසන ලදුව ඉතා දීර්ඝ ලෙසින් නඩුව විභාගයට ගන්නා ලදී. චෝදනාව අංගසම්පූර්ණ ලෙසින් පැමිණිල්ල විසින් ඔප්පු කර ඇති බව නඩු විභාගය අවසන් කරමින් විනිසුරු පැවසුවේය.

වින්දිත දැරිය 5 වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටියදී විත්තිකරු ඇගේ පන්ති භාර ගුරුවරයා ලෙසත් ශිෂ්‍යත්ව ගුරුවරයා ලෙසත් සිටි බවත් පාසල් වේලාවෙන් පසු ඔහු ඉගැන්වීම සඳහා තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්‌ඩායමක්‌ සමග වින්දිත දැරිය ද එම පන්තියට සහභාගීව සිටි බවත් නඩුවේදී කියෑවිණි.

සවස 4.30 ට පමණ සිය පන්තිය අවසන් කළ ගුරුවරයා වින්දිත දැරිය ප්‍රශ්න පත්‍ර බැලීමට යයි පවසා නතර කරගෙන සෙසු ළමයින් පිටත් කර ඇත. පසුව ඔහු දැරිය අසළ තිබූ කාමරයක්‌ තුළට කැඳවාගෙන ගොස්‌ එහි තිබූ බංකුවක්‌ මත නිදිකරවා ඇය අපයෝජනය කළ බව නඩුවේදී හෙළි විය.

Post a Comment

Previous Post Next Post